මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.
අප මීට ඉහත ලිපියෙන්, ඔට්සම් රෝගී දරුවන් පෙන්වන සමාජයීය සම්බන්ධතා වල ඇති වෙනස්කම් පිලිබඳ සාකච්චා කළෙමු. මෙම ලිපියෙන් පහත සඳහන් රෝග ලක්ෂණ පිළිබඳව විස්තර ඉදිරිපත් කරමි. ඔටිසම් රෝග විනිස්චයෙදී පහත දැක්වෙන රෝග ලක්ෂණ “එකම කාණ්ඩයක” රෝග ලක්ෂණ ලෙස සලකන බැවින් එම ලක්ෂණයන් මෙම ලිපියෙන් සාකච්චා කෙරෙනු ඇත.
A. සීමිත පරාසයක් තුල, එකම දේ නැවත නැවත සිදුකිරීම. (Repettetive behaviour)
B. තම චර්යා ක්‍රමය (Routine) වෙනස් කිරීමට ඇති දැඩි අකමැත්ත.
C. සීමිත ක්‍රියාවන්, සෙල්ලම් බඩු, සහ අනෙකුත් ද්‍රව්ව්‍යයන් කෙරෙහි ඇති, දැඩි, අසාමාන්‍ය ඇල්ම (Obsessions)
D. පරිසර සංවේදන වලට අසීමිත ඇල්ම දැක්වීම හෝ අසාමාන්‍ය ලෙස ප්‍රතිචාර දැක්වීම. (Sensory issues, hyposensitivity or hypersensitivity to sensory stimuli)
ඉහත සඳහන් A , B , C සහ D යන හැසිරීම් රටා දරුවන්ගේ සෙල්ලම් කිරීම් තුල, එදිනෙදා වැඩ කටයුතු වලදී, භාෂාව සහ අදහස් හුවමාරු කරගැනීමේදී සහ පරිසරය සමග සිදුකරන ක්‍රියාවන්හිදී එකිනෙකින් වෙනස් වූ හැසිරීම් රටා ලෙස අපට දැකගත හැක.
මෙයින් ලක්ෂණ එකක් දෙකක් හෝ කිහිපයක් සෑම දරුවකු තුලම (හෝ අප තුල පවා) තිබිය හැක. එම ලක්ෂණ කිහිපයක් තිබු පමණින් එම දරුවාට ඔටිසම් ඇති නිගමනය කල නොහැක.
3.2.1 ඉතා සීමිත පරාසයක් තුල තමන්ගේ ආශාවන්, විනෝදාංශ සහ ක්‍රියාවන් පවත්වාගෙන යාම.
මෙම ලක්ෂණය ඔටිසම් සහිත දරුවන් (රෝගීන්) විවිධ ආකාරයෙන් පෙන්නුම්කරයි. පහත සඳහන් හැසිරීම් රටා උදාහරණ ලෙස දැක්විය හැක.
a. තමන් කැමති සෙල්ලම් බඩු හෝ ක්‍රියාකාරීත්වයන් ඉතා සීමිත පරාසයක පවත්වාගැනීම
b. අසාමාන්‍ය ද්‍රව්‍ය (වෙනත් අය විශේෂ කැමැත්තක් නොදක්වන භව්තික ද්‍රව්‍යයන්) වලට ඇති දැඩි කැමැත්ත සහ එකතුකිරීම
c. එකම දෙය නැවත නැවත නොනවත්වා කිරීම
d. ඉතා අසාමාන්‍ය ක්රියාවන්වලින් දැඩි තෘප්තියක් ලැබීම
සෙල්ලම් බඩු
කුඩා අවදියේදී ඕනෑම දරුවකු තමන් වඩා කැමති සෙල්ලම් බඩු සමග වැඩියෙන් සෙල්ලම් කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. උදාහරණයක් ලෙස පිරිමි දරුවන් කාර් සහ අනෙකුත් වාහන වලට දැඩි කැමැත්තක් දක්වයි. ගැහැණු දරුවන් බෝනික්කන් සමග සෙල්ලම් කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. මෙය ඉතා සාමාන්‍ය ලක්ෂණයකි. නමුත් ඔටිසම් රෝග ලක්ෂණ පෙන්වන දරුවන් වෙනත් කිසිම සෙල්ලම් බඩුවකට කැමැත්තක් නොදක්වා කාර් හෝ සෙල්ලම් දුම්රිය සමග පමණක් කාලය ගතකරයි නම් ඒ ගැන සැලකිය යුතුය. (මෙය පමණක් ඔටිසම් රෝග ලක්ෂණ ලෙස නොසැලකිය යුතුය). දරුවා කාර් රේස් අනුගමනය කරමින් කාර් පේලියට තබා සෙල්ලම් කිරීම ඉතා සාමාන්‍ය ක්‍රියාවකි. නමුත් දරුවා කාරය, කාරයක් විදයට නොදැක එය අනෙක් පැත්ත හරවා රෝදය කරකැවීම දෙස බලමින් පමණක් සතුටු වෙයි නම් එය අසාමාන්‍ය ලක්ෂණයකි. එමෙන්ම සමහර අවස්ථාවන්වලදී දරුවා බිම හාන්සි වී මොටෝර් රථය ඉදිර්පසට සහ පසුපසට යවමින් රෝද වල චලනය නිරීක්ෂණය කරයි නම් එය ද සැලකිය යුතු කරුණකි.
අප සැවොම අසා ඇති කාර් එක පේලියට තැබීම ඔටිසම් රෝගලක්ෂණයක් ලෙස ගැනීම ඉතා කල්පනාවෙන් කල යුතුය. සමහර දරුවන් කාර් සමග ඉතා හොදින් එයට උචිත ලෙස සෙල්ලම් කර, “මම දැන් කාර් පාර්ක් කරනවා” ලෙසින් කාර් පිළිවෙලට තැබීම ඔටිසම් රෝගලක්ෂණයක් ලෙස නොගත යුතුය.නමුත් දරුවා කාර් සමග සෙල්ලම් කිරීමට ගත් වෙලාවේ සිට ඔහු/ඇය ඒවා පිළිවෙලට (ප්‍රමාණය හෝ වර්ණය අනුව) තැබීම පමණක් හෝ රෝද කැරකීම ගැන පමණක් උනන්දු වෙයි නම් එය සැලකිය යුතු ලක්ෂණයකි.
එමෙන්ම තමුන් අතිශය ලෙස ඇලුම් කරන සෙල්ලම් බඩු ගැන පමණක් කතා කරයි නම් හෝ ඒ ගැන දකින දකින දේ එකතු කරයි නම් හෝ ඒවා ගෙදර යම් තැනක ඉතා පිළිවෙලට කිසිවෙකුටත් ඇල්ලීමට නොහැකි ලෙස තබා ගනියි නම් එයද රෝග ලක්ෂණයක් ලෙස සැලකිය හැක. (ඔහුගේ/ඇයගේ මෙම සෙල්ලම් බඩු සෙල්ලම් කිරීමේදී අන් ය සමග බෙදා නොගැනීම ඔටිසම් රෝගයේ “සමාජ සම්බන්ධතා වල ඇති දුර්වලතා” පෙන්වන රෝග ලක්ෂණයකි).
ඔටිසම් රෝගීන් ඔවුන්ගේ අසාමාන්‍ය හැසිරීම් රටා ඔවුන් වැඩිහිටි වූ විටද පවත්වාගෙන යයි. සමහර රෝගීන් එදිනෙද ජීවිතයේ අවශ්‍ය නොවන දේ ගොඩගසා එකතු කිරීම කරගෙන යයි. කුඩා දරුවන් බෝතල් මුඩි, වෙළඳ සලකුණු, පුවත්පත් හෝ එහි තමන් කැමති කොටස් නොකඩවා එක්රැස් කිරීම සිදුකරයි නම් අන් ලක්ෂණ තිබේදැයි පරීක්ෂකරී විය යුතුය. එමෙන්ම අන් අය වැඩි කැමැත්තක් නොදක්වන කුඩා ගල් කැබලි, කොටු කැබලි, කුරුළු පිහාටු වැනි ද්‍රව්‍යයන්ට ඉත තදින් ඇබ්බැහි වී එකතු කිරීමත් මෙහි එක ලක්ෂණයකි. අප සැවොම අලංකාර කුරුළු පිහාට්ටක දුටුවහොත් එයට කැමැත්තක් දැක්වීම ඉතා සාමාන්‍ය දෙයකි.
3.2.2 ඒකාකාරී (Stereotype) ක්‍රියාවන්ගෙන් සතුටු වීම හෝ එකම ක්‍රියාව නැවත නැවත කිරීම
ඔටිසම් රෝග සහිත දරුවන් එකම ක්‍රියාව නොකඩවා කිරීමේ හැසිරීම් රටාවක් පෙන්වයි. මෙය ඔවුන්ගේ විවිධ හැසිරීම් රටා තුල දැක ගත හැක.
කථනය
ඔටිසම් රෝග සහිත දරුවන් යමෙකු පැවසු හෝ රූපවාහිනියෙන් ඇසුණු වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් එලෙසම උච්චාරණය කිරීම සිදු කරයි. සරල ප්‍රශ්නයක් ඇසුවිට පිළිතුරු දීම වෙනුවට එයම ප්‍රති-උච්චාරණය කරයි. උදාහරණයක් ලෙස “ඔබේ නම මොකක්ද?” අසු විට “නම මොකක්ද” යන්න එලසම පැවසීම. එමෙන්ම ඇසුණු වාක්‍ය ඛණ්ඩයක් නොකඩවා පැවසීම.
කථනයේදී තමන්ටම අවේනික භාෂාවකින් (Gibberish language) හෝ වෙනස් උච්චාරණ විදියකින් (Accent) කතා කිරීමද (වයසින් වැඩි දරුවකු කුඩා දරුවකුගේ උච්චාරණ විධිය අනුකරණය කිරීම) මෙම රෝග ලක්ෂණයෙහි කොටසකි.
ඉහත සඳහන් කල පරිදි සෙල්ලම් වාහන වල රෝද කරකැවීම දෙස බලා සිටීම, කරකැවෙන විදුලි පංකා හෝ වෙනත් කරකෙවෙන උපකරණ දෙස බලා සිටීම repettetive behaviour නමින් හැඳින්වේ.
CD/DVD නැරඹීමේදී එහි එකම කොටස නැවත නැවත rewind කරමින් නැරඹීම හෝ එකම CD තැටිය අසීමිත වාර ගණනක් නැරඹීම මෙම හැසිරීම් රටා අයත් රෝග ලක්ෂණ වලම කොටසකි.
එකාකාරීත්වය (Stereotyped)
ගෙදර සවිකර ඇති විදුලි ලාම්පු හෝ පෙණු ස්විචයන් නැවත නැවත දැමීම සහ නිවීම මගින් සතුටු වීම තවත් ලක්ෂණයකි. දොරවල් හෝ ලාච්චු ඇරීම වැසීම, දොර හැඬලයන් සමග එකම ක්‍රියාව නැවත නැවත කිරීම මගින්ද මෙම දරුවන් සෙල්ලමක් ලෙස සතුටු වේ.
ඔටිසම් රෝගය සහිත දරුවන් ඒකාකාරී ලෙස රවුමට දිවීම නොනවත්වා කරගෙන යාම, තමන් වටේ කරකැවීම, අත් ඒකාකාරී රිත්මයකට සෙලවීම තවත් ලක්ෂණයකි (Motor manerisms).
3.2.3 දින චර්යාවෙන් වෙනස් වීමට දක්වන දැඩි අකමැත්ත
දින චර්යාවේ සිදුවීම් සැමදා නොවෙනස්ව එකම පිළිවෙලකට තබා ගැනීම සහ යම් වෙනසක් සිදුවුවහොත් අසාමාන්‍ය ලෙස කෝපය සහ හැඩීම ඔටිසම් දරුවන් පෙන්වන තවත් ලක්ෂණයකි. සමහර අවස්තාවන්හිදී ඔටිසම් රෝග සහිත දරුවන්ගේ හැසිරීම් පාලනය කරගත නොහැකි ලෙස වෙනස් වීමට මෙම දින චර්යාවී සිදුවන ඉතා සුළු, සාමාන්‍යයෙන් නොසැලකිය යුතු සිද්ධියක් හේතු විය හැක.
අහාර ගැනීමේ පිළිවෙල සැමදා නොවෙනස්ව තබා ගැනීම.
ඔටිසම් රෝග සහිත දරුවන් ආහාර ගැනීමේ විශේෂ චර්යාවන් පෙන්වයි. අහාර ගැනීමේදී සැමදා එකම හෝ සීමිත පරාසයක ආහාර ගැනීම එක් ලක්ෂණයකි. සමහර විට මෙම දරුවන් එක පැහැයක ආහාර පමණක් ගනී. (උදා: සුදු පැහැති අහාර පමණක්). මෙම දරුවන් අහාර ලබාදෙන විට සැමදා එකම පිළිවෙල බලාපොරොත්තු වෙයි. (උදා: පිඟානේ අහාර එකම පිළිවෙලට බෙදීම, පාන් පෙති එකම හැඩයට කපා ආහාරයට ගැනීම, පාන් වල එකම තැවරුම සැමදා බලාපොරොත්තු වීම)
-
නින්දට යාමේදී සැමදා එකම පිළිවෙලට ඇඳ සකස්කිරීම සහ නියමිත සෙල්ලම් බඩු ඉතා පිළිවෙලට එකම රටාවකට සකස් කිරීම
පාසලට යාමට සුදානම් වීමේදී සහ යාමේදී එකම අනුපිලිවෙලට ක්‍රියා කිරීම, සුපුරුදු පාරෙන් ඉවත්ව වෙනත් පාරකින් පාසලට යාමට සිදුවුවහොත් දැඩි ලෙස විරුද්ධ වීම, පන්තියේ ගුරුවරයා වෙනස් වීම හෝ පංති කාමරයේ වෙනස් වීම දරාගත නොහැකි වීම වැනි දේවලින් මෙම දරුවන් අසීමිත ලෙස හැසිරීමේ වෙනස් කම් පෙන්වීමට ඉඩ ඇත.
තම නිවසේ හෝ කාමරයේ ලී බඩු හෝ අනෙකුත් දෑ වෙනස් කිරීමට අකමැත්තක් පෙන්වීම, ඇඳ ඇතිරිලි වෙනස් කිරීමට ඉඩ නොදීම, අලුත් ඇදුම් හෝ සපත්තු ඇදීමට මැලිකමක් දැක්වීම, තම කාමරයට කිසිම කෙනෙකුට ඇතුල් වීමට ඉඩ නොදීම වැනි හැසිරීම් පෙන්වීම මෙම දරුවන්ගේ ඒකාකාරී දින චර්යාව වෙනස් කිරීමට ඇති අකමැත්ත නිසා සිදුවන්නන්කි.
ඔටිසම් රෝග සහිත සමහර දරුවන් ඔවුන්ගේ දැඩි ආශාවන් ඇති ක්‍රියා ලෙස සංගීතය, අංක ගණිතය හෝ වෙනත් අද්යාපනික අංශයක් වෙත යොමුවුවහොත් ඔවුන් එම අංශයෙන් ඇති විශිෂ්ට දස්කම් පෙන්වීම සිදුවිය හැක. මෙවැනි අවස්තාවන් දෙමව්පියන් සතුටු කරවන අතර සමහර දෙමව්පියන් ඔටිසම් රෝගය ගැන නොසලකා සිටීමට හේතුවක් කරගැනී. මෙය අනුවන තත්වයකි. මෙම දරුවන් එක අංශයකින් ඉතා දක්ෂ වුවද ඔවුන්ගේ ඔටිසම් රෝග තත්ත්ව නොසලකා හැරීමෙන් ඔවුන්ට විශාල හානියක් සිදුවේ.
3.2.4 සංවේදනයේ ඇති වෙනස් වීම් (Sensory issues, hyposensitivity or hypersensitivity to sensory stimuli)
අප නිරතුරුව අප පරිසරයෙන් ලැබෙන සංවේදන සමග ජීවත්වේ. මෙම සංවේදන ශබ්ද, ආලෝකය, ස්පර්ශය, රස (මුඛය ආශ්‍රිත), වේදනාව සහ සුවඳ ලෙස අපට දැනෙයි. බොහෝ විට අපට මෙම සංවේදන එදිනේදා ජීවිතයට බාධාවක් නොවේ. නමුත් ඔටිසම් රෝගී දරුවන්, සාමාන්‍යයෙන් අනෙක් අයට බලපෑමක් නොකරන සංවේදනයන් වලට දැඩි අකමැත්තක් දැක්වීම සිදු විය හැක. උදාහරණයක් ලෙස ඉතා දැඩි ශබ්දයකදී ඔවුන් අසහනයට පත්වේ. (උදා: මෝටර් බයිසිකලය, බ්ලෙන්ඩරයක ශබ්දය) සාමාන්‍යයෙන් අනෙක් දරුවන් හට දැඩි වේදනාවක් දේ යයි අප සිතන තුවාලයකදී ඔවුන් එම වේදනාව ඉතා හොඳින් දරා ගනී. මොවුන් සමහර ඇඳුම් වලට (මේස්, යට ඇඳුම් හෝ ඇඳුම් වල ඇති ටැග්ස්) දැඩි අකමැත්තක් දක්වයි.
ඔටිසම් සහිත දරුවන් මෙම සංවේදී අවස්ථා වන්හට අකමැති වී මගහැරීම මෙන්ම සමහර සංවේදනයන් දැඩි අශාවකින් නිරන්තරයෙන් ලබා ගැනීමද එක රෝග ලක්ෂණයකි. තමන් කැමති සුමට සෙල්ලම් භාණ්ඩයක් හෝ රෙදිකබල්ලක් නිතර අතේ රඳවා ගැනීම, නිතරම යම් දෙයක් කටේ දමා ගැනීම, සෑම දෙයක්ම නාසයට ලංකර ගඳ සුවඳ බැලීම වැනි ක්‍රියාවන් මේ සඳහා උදාහරණ වේ. එමෙන්ම දරුවන් ඉතා අසාමාන්‍ය ඉරියව් වලින් සිටීමද (උදා: නිතර බිම නිදා ගැනීම, හිස පහතට වැටෙන සේ පුටුවක හෝ ඇඳේ සිටීම වැනි) ඔවුන් අසාමාන්‍ය සංවේදනයන් කෙරෙහි දක්වන ඇලුම් කිරීමක ප්‍රතිපලයක් ලෙස විස්තර කෙරේ.
මෙම දරුවන් පාසල් කාලයේදී විවධ සංවේදනයන්ට ඉතා අපහසුවෙන් මුහුණ දීමට සිදුවේ. මේ මගින් ඔවුන්ගේ හැසිරීමේ දැඩි වෙනස්කම් පාසල් කාලය තුල සහ ඉන් පසුව ඇතිවීමට ඉඩ ඇත. බොහෝ විට පාසලේදී මෙම දරුවන් “කිසිම හේතුවක් නොමැතිව” කරදරකාරී හැසිරීම් පෙන්වීමෙන් “දඟ ළමයි” ලෙස සැලකීමට ඉඩ ඇත. මේ අවස්ථා ගුරුවරුන්, දෙමව්පියන් සහ අනෙකුත් වෘත්තීය වේදීන් තේරුම් ගැනීම මෙම දරුවන්ගේ හැසිරීම් පාලනයට මහත් පිටුවහලක් වේ.
ඔටිසම් දරුවන් අලුත් පරිසරයකට රැගෙන ගිය විට (නෑදෑ නිවසකට, කඩයකට හෝ යම් උත්සව අවස්ථාවකට) නොනවත්වා හැඩීම සහ පාලනය කරගත නොහැකි ලෙස අධික ක්‍රියාශීලී ලෙස හැසිරීම, නව පරිසරයේ නව සංවේදනයන් නිසා සිදුවන අපහසුතාවය නිසා සිදුවන බව සොයාගෙන ඇත. (ශබ්ද සහ ආලෝකය සංවේදනයට අකමැති වීම) (මෙන්ම වැඩි මිනිසුන් ප්‍රමාණයක් අතර සිටීමට අකමැති වීම: සමාජ සම්බන්ධතා දුර්වල වීම)
සීමිත පරාසයක අහාර ද්‍රව්‍ය පමණක් අහාරයට ගැනීම එම අහාර වල ඇති texture (අතට හෝ කටට දැනෙන අයුරු) වලට අකමැති වීමත් මේ නිසා සිදුවෙයි.
ආදරයෙන් තුරුළු කරගැනීමට අකමැති වීම, කොණ්ඩය කැපීම, පීරීමට දැඩි අකමැත්ත, ඔවුන් එම සංවේදනයට අකමැති නිසා සිදුවන දෙයකි. බොහෝ විට දරුවන් නිදා නොගැනීමත් මෙම සංවේදන වල වෙනස් වීම නිසා සිදුවිය හැක.
මෙය ඉතා සැලකිල්ලෙන් අද්‍යනය කර අවශ්‍ය උපදෙස් ලබාගැනීම occupational therapist මාර්ගයෙන් කරගත හැක.
January 2018
චායරුප සියල්ල අන්තර්ජාලයෙනිමෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.