මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.
දරුවන් හට සෑදෙන උන පිළිබඳව සෑම දෙමව්පිය්කුටම අත්දැකීම් ඇත. මෙහිදී බොහෝ දෙමව්පියන් දෙවතාවක් නොසිතා උන ගත් සැනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට යොමුවීමෙන් කාලය, මුදල් නාස්ති වීමට අමතරව අනවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර වලට යොමු වීමද සිදුවීමට ඉඩ ඇත. මෙම විස්තර දැනගැනීමෙන් දරුවාගේ උන තත්වය ගැන වඩා හොද අවබෝදයක් ලබාගත හැකිවනවා මෙන්ම ඔබගේ සහ දරුවාගේ යහපතටද හේතුවනවා ඇත. වෛද්‍ය විද්‍යා දැනුම නිරතුරුව වෙනස් වන නිසා මා මෙහි පහත සඳහන් කරන තොරතුරු සමහර විට ඔබට ඉතාමත් නුපුරුදු විය හැක.
උණ
දරුවන් අතර, උන රෝග ලක්ෂණය ඉතා සුලබ දෙයකි. මෙය බොහෝ විට ඇතිවන්නේ විෂබීජ අසාදනයකට දරුවාගේ ශරීරය දක්වන ‘යහපත්’ ප්‍රතිචාරයක් ලෙසය. දරුව ගේ සිරුරේ ඇති ප්‍රතිශක්ති ශක්තිය, විෂබීජ (බැක්ටීරියා හෝ වයිරස්) අසාදනය තම සිරුරෙන් ඉවත් කරගැනීමට සටන් කිරීමේදී ඇතිවන රසායන ද්‍රව්‍ය සහ අනෙකුත් අතුරු ඵල වල ප්‍රතිඵල ලෙස උන තත්වය හටගනී. උන තත්වය මෙම අසාදන තත්වය ජයගැනීමෙන් පසු සම්පුර්ණයෙන් සුවවී යයි.
දරුවන්ගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 38 ට අඩු පරාසයක පවතී.මෙම උෂ්ණත්ව අගය 38C වලට වඩා වැඩිනම් පමණක් දරුවකුට උන තත්වය ඇති සලකනු ලැබේ. මා ඉහතින් පැහැදිලි කල පරිදි උන දරුවාට හානියක් සිදුනොකරයි. මෙය (උණ) දරුවාගේ ප්‍රතිශක්ති ක්‍රියාවලියට (අසාදනය සමග සටන් කිරීමට) උදව්වක් සපයයි. එනම් උන අවස්තාවකදී, දරුවා අසාදනයට විරුද්ධව සටන් කිරීම උපරිම අයුරින් සිදුවේ. එමනිසා නවීන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ වලින් සනාත කර ඇත්තේ උන අඩුකිරීමට ඖශධ ලබා දීමට වඩා නොදී සිටීම සුදුසු බවය. මෙය ඔබට ප්‍රශ්නාර්ථයක් වනු ඇත. දරුවාට උන තිබියදී අප පුරුදු වී සිටි පැරසිටමෝල් හෝ Ibuprofen වැනි ඖෂධ ලබා නොදී “බලා සිටීමට” ඔබට ඇති නොහැකියාවයි. දරුවා විශේෂයෙන් අපහසුතාවයකින් නොමැතිව උන සහිතව සිටීනම් ඖෂධ ලබා නොදී සිටියද, දරුවා වේදනාවකින් සහ ඉතා අපහසුතත්වයකට පත්වී සිටීනම් ‘උන අඩුකිරීමේ’ ඔවුෂද ලබා දීමේ වරදක් නැත. මෙහිදී මතක තබා ගත යුතු වන්නේ උන, දරුවාට අසාදනයෙන් ‘ගොඩඒමට‘ පිටුවහලක් වන බවය.
එමෙන්ම උණ ඇතිකරන ආසාදනයන් බොහෝ විට වෛරස් මගින් සිදුවන නිසා ප්‍රතිජීවක වර්ග ලබාදීම අනවශ්‍ය මෙන්ම මතු අහිතකර ප්‍රතිඵල ගෙන එයි. මෙය බොහෝ උගුරේ අසාදන, ස්වසන අසාදන, කනේ ඇතිවන අසාදන මෙන්ම අන්ත්‍රයේ ඇතිවන (බඩ එළියේ යාම) අසාදන වලට අදාලය.
උන ඇති විට දරුවා විජලනයට පත්වීමේ වැඩි අවදානමක් ඇති නිසා දියර වර්ග වැඩිපුර බීමට දෙන්න. දරුවා කෑමට රුචිකත්වයක් දක්වයි නම් සුපුරුදු ලෙස ආහාර පාන ලබා දෙන්න.
උන වලිප්පුව
දැන් ඔබට ඇතිවන ප්‍රශ්නය නම් ඔබේ දරුවාට උන වලිප්පුව සැදීමේ අවදානමක් ඇත්නම් කල යුත්තේ කුමක්ද යන්නයි. උන වලිප්පුව ඇතිවන්නේ ඉතා ක්ෂණිකව දරුවාගේ උෂ්ණත්වය (උන) ඉහල ගිය විටදීයි. සමහර විට දෙමව්පියන්ට දරුවාට උන සැදී ඇත්දැයි දැනගැනීමටත් ප්‍රථම වලිප්පුව සෑදෙයි. වාසනාවකට උන වලිප්පුව නිසා කිසිම දීර්ඝකාලීන අබාද ඇති නොවේ.
උන වලිප්පුව සැදීම වැලක්වීමට ප්‍රතිකාර ඇද්ද?
නැත
අවාසනාවකට කිසිම ප්‍රතිකාරයක් උන වලිප්පුව වැලක්වීමට උදව් නොවන බව නවතම වෛද්‍ය පර්යේෂණ පෙන්වා දී ඇත. අතීතයේදී අප මේ සඳහා විවිධ ක්‍රම භාවිත කලත් මෙය සාර්ථක නොවේ. (වේදනා නාශක/උන අඩුකරන ඔවුෂද, ඇල්මැරුණු වතුරෙන් දරුවා තෙමීම; මෙය හානිකරබව සනාත කර ඇත, diazepam හෝ වෙනත් වලිප්පුව නැවත්වීමට දෙන අවුෂද ලබාදීම)
උන වලිප්පුව සැදුනහොත් ඔබ කල යුත්තේ කුමක්ද?
උන වලිප්පුව නැවත්වීමට ඔබට කළහැකි දෙයක් නොමැත. බොහෝ උන වලිප්පු විනාඩි 5 ට අඩු කාලයකදී කිසිම ප්‍රතිකාරයක් නොමැතිව නවතීයි. එය විනාඩි 5ට වඩා වැඩි කාලයක් පවතී නම් වෛද්‍ය උපදෙස් පතන්න. විශේෂයෙන් උන වලිප්පුව ඇති වෙලාවට දරුවාට කිසිම් දෙයක් බීමට/කෑමට නොදෙන්න. කටට කිසිවක් නොදමන්න.
උන බැලීම
ඔබ දරුවාට උන ඇත්දැයි සැකකරයි නම් උෂ්ණත්ව මාපකයක් මගින් දරුවාගේ ඇගේ උෂ්ණත්වය මැනගත හැක. නිවසේ උෂ්ණත්ව මානයක් තබා ගැනීම ඉතා සුදුසුය.
උෂ්ණත්වය පරීක්ෂා කරන ස්ථාන
1. කිහිල්ල යට
2. දිව යට (වයසින් වැඩි දරුවන්ගේ පමණි)
3. කනේ උෂ්ණත්වය මැනීම

කනේ උෂ්ණත්වය මැනීමට ගන්න උෂ්ණත්වමානය. (මෙහි දක්වා ඇත්තේ එක වෙළද නාමයක උෂ්නත්වමානයකි. මෙය උදාහරණයක් සඳහා පමණකි. මෙම වෙළද නාමය ප්‍රවර්දනය කිරීම කිසිසේත් අදහස් නොකරමි)
වර්තමානයේ රසදිය නොමැති ඉලෙක්ට්‍රොනික උෂ්ණත්වමාන භාවිතා කරයි.
වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා
දරුවා හිසේ, බෙල්ලේ හෝ ඇස් වල වේදනාවක් පවසයි නම්
සමේ පලු හෝ බිබිලි (Rash) මතු වී ඇත්නම්
විජලන රෝග ලක්ෂණ පෙන්වයි නම්
දරුවා නිදිමත බවක් පෙන්වයි නම්
දරුවා හුස්මගැනීමේ අපහසුතාවයක් පෙන්වයි නම්
ඔබේ දරුවා මාස 3ට වඩා අඩු වයසක දරුවෙක් නම්
දෙමව්පියන් ලෙස ඔබ දරුවා උන ගත සැනින් වෛද්‍ය උපදෙස් පැතීමට පෙළඹවීම සාමාන්‍ය දෙයකි. වෛද්‍ය උපදෙස් පැතීම ‘උපදෙස්‘ වලට පමණක් සිදුකිරීම වඩා වැදගත්ය. මා ඉහතින් සඳහන් කල පරිදි බොහෝ උන රෝග වලට කිසිම ඖෂධයක් අවශ්‍ය නොවේ. ඖෂධ ලබා දීම යහපතකට වඩා අයහපතක් සිදුකරයි. එමෙන්ම එම උන රෝග අවස්තාවේදී නැවතත් වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම් රජයේ රෝහලකට හෝ පෞද්ගලික වෛද්‍ය වරයකු වෙත යනවා නම් කලින් උපදෙස් ලබාගත් වෛද්‍ය වරයා ළඟටම යාම වඩා වැදගත්ය. උන සැදී දින 3-5 අතර සනීප වන නිසා මෙම 4වන හෝ 5 වන දිනය ලං වන විට කුමන බෙහෙතක් දුන්නත් උන සනීප වන්නේ එම බෙහෙතේ හෝ වෛද්‍යවරයාගේ පිහිටෙන් නොව දරුවාගේ ශරීරයෙ ප්‍රත්ෂක්තිය මගින් එම අසාදනය ඉවත්කිරීමට සමත්වන නිසාය.
මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.