මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.
කථන අපහසුතා සහ ප්‍රමාදය; ඔටිසම් ද? නැතිද?
ඔටිසම් රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇති දරුවන්ට මුල් ළමා අවදියේ ප්‍රතිකාර ක්‍රම සැපයීම.
(Early Intervention Services)
ඔටිසම් ඇතත් නැතත් දරුවාගේ ඇති වර්ධන අපහසුතාවයට උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න.
මෙය දරුවන් රැකබලා ගැනීමේ ඉතාමත්ම වැදගත් ක්‍රියාවලියයි. ඔටිසම් සුවකළ හැකි කිසිදු ප්‍රතිකාර ක්‍රමයක් හෝ ඖෂදයක් නොමැත. නමුත් ඔටිසම් රෝගය හෝ ඒ හා සම්බන්ද රෝග ලක්ෂණ හඳුනාගත් සැනින් මෙම EIS සේවා ලබාදීම දරුවාගේ මානසික වර්ධනයට, හැසිරීමට සහ ඉගෙනීමට මහත් පිටුවහලක් වනු ඇත. මෙමගින් අනාගතයේදී ඔටිසම් රෝග ලක්ෂණ වලින් ඇතිවන සමාජයීය සහ අනෙකුත් ගැටළු අවම කරගැනීමට හැකි වනු ඇත.
ඔටිසම් රෝගය හෝ රෝග ලක්ෂණ මුල් අවදියේදී හඳුනා ගත හැක්කේ කෙසේද?
මෙම රෝග ලක්ෂණ දරුවාගේ වර්ධන අවස්ථා පරීක්ෂාවට ලක්කරන අවස්තාවලදී හඳුනාගැනීමේ හැකියාවක් ඇත. නමුත් එය ඔටිසම් රෝගය දැයි නිශ්චිතව පැවසීමට අවම වශයෙන් දරුවාට වයස දෙකක් හෝ ඊට වැඩිවිය යුතුය. නමුත් ඔටිසම් හා සම්බන්ධ රෝගලක්ෂණ වල පැවතීම මුල් වසර අවසාන වන අවදියේ සිට දැකගත හැක. මෙය හොඳින් තේරුම් ගැනීම ඉතා වැදගත්ය; ඔටිසම් වල එක රෝග ලක්ෂණයක් මුල් වසර අවසානයෙදී හඳුනාගැනීම එම දරුවාට ඔටිසම් ඇති බව හෝ ඉදිරියේදී ඔටිසම් ලෙස රෝග විනිශ්චයක් ලැබෙයි යන නිගමනයට ඒමට කිසිසේත් නොහැකිය. මන්ද ඔටිසම් යනු රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් වන අතර මුල් වසර හෝ දෙකේදී හඳුනාගන්නා සමහර රෝග ලක්ෂණ නිසි ප්‍රතිකාර ක්‍රම ලබාදීම මගින් ‘සුවවීමක්‘ පෙන්වන නිසයි. එමෙන්ම මෙම රෝග ලක්ෂණ තවදුරටත් පවතිද්දී වෙනත් ඔටිසම් රෝගලක්ෂණ ඉස්මතු වුවහොත් දෙවන වසර අවසාන වීමෙන් පසු තව දුරටත් දරුවා පරීක්ෂා කිරීමෙන් ඔටිසම් රෝග තත්වය ඇතිදැයි නිගමනය කල හැක.
මා මෙහිදී සඳහන් කරන වැදගත්ම කාරණය වන්නේ දරුවාගේ දකින රෝග ලක්ෂණයට හෝ හැසිරීමේ වෙනසට ප්‍රතිකාර දීම ඔහුට හෝ ඇයට ඔටිසම් ඇති නැති බව මත තීරණය නොකළ යුතු බවයි. එමෙන්ම අප සමාජයේ සමහර දෙමව්පියන් තම දරුවන්ගේ වර්ධන ඌනතා නොසලකා සිටීමට හේතුවක් ලෙස ‘දරුවාගේ පියාගේ හෝ මවගේ ළමා කාලයත් දරුවා වගේමයි‘ දැක්වීමයි. මෙය තවත් තහවුරු කිරීමට දෙමව්පියන්ගේ වර්තමාන සාර්ථක බවද උදාහරණයකට ගෙන දක්වයි. මෙය දරුවාට කරන දැඩි අසාදාරණයකි. දරුවාට අවශ්‍ය මුල් අවදියේ ප්‍රතිකාර ක්‍රම ලබා දීම දෙමව්පියන්ගේ වගකීමක් මෙන්ම දරුවාගේ අයිතියක්ද වෙයි. මීට වසර 30ට හෝ ඊට පෙර තමන්ගේ අත්දැකීම් අනුව තම දරුවන්ට සැලකීම අනුවන ක්‍රියාවක් බව මගේ හැගීමයි.
කථන පුහුණුව
දරුවන් ‘කතා කිරීම‘ ඇරඹීම විවිධ අකාරයෙන් සිදුකරයි. අප කථනය යනුවෙන් වචන කතාකිරීම හැඳින්වුවත් සමාජ සම්බන්ධතා ඇතිකරගැනීම වෙනත් විවිධ වූ ක්‍රම මගින් දරුවා සිදු කරයි. මෙම සංවාද වචන කතා කිරීමට ප්‍රථම සිටම දරුවා අරඹයි.
මාස 3-4 වන විට
දරුවා හොඳින් මව පියාගේ ඇස දෙස බලා සිටී. ප්රතිචාරාත්මකව සිනාසෙයි.
විවධ මුලික ශබ්ද සිදුකරයි; ‘ඌ‘ ‘ගා‘ ‘බා‘ ‘මා‘ ‘ඩා‘ ආදී ලෙසින්
මාස 5-7 වන විට
අන් අයගේ ශබ්ද එලෙසින්ම අනුකරණයට උත්සාහ කරයි. ‘කැස්ස‘ ‘සිනාසීම‘
වඩා ‘සංකීර්ණ‘ ශබ්ද සිදුකරයි. ‘උකකුං‘ ‘ආවූ‘ ‘උන්ගී‘
මාස 8-9 වන විට
‘මාමා..’ ‘ඩා ඩා‘ ‘තා තා‘ ශබ්ද සිදුකරයි.
මාස 10-11 වන විට
වඩා සමාජයීය ලෙස ප්‍රතික්‍රියා පෙන්වයි; කැමැත්ත, අකමැත්ත, අහාර හෝ අනෙකුත් දෑ ප්‍රතික්ෂේප කිරීම
මාස 12-14 වන විට
අම්මා තාත්තා යන වචන 2-3ක් කතා කිරීමට හැකිවෙයි.
ඉහත සඳහන් ප්‍රතිචාර දැක්වීම සිදුනොවන්නේ නම් පළමුව පවුල් සෞක්‍ය සේවිකාව සමග සාකච්චා කර ඒ පිලිබඳ තව දුරටත් ඔබට අවබෝදයක් ලබා ගත හැක. මෙම අවස්ථාවේ දරුවාගේ වර්ධනය යම් ප්‍රමාදයක් ඇති බව දැනගතහොත් වහාම ඒ පිලිබඳ ක්‍රියා කිරීම දරුවාගේ අනාගතය වඩා සාර්ථක කරගැනීමට මහත් පිටුවහලක් වනු ඇත. දරුවාගේ පියාගේ හෝ මවගේ ළමා කාලය සමග සංසන්දනය කර ‘ඔය දැන් අපුරුවට ඉන්නේ‘ කියා දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම කල් දැමීම අනුවන ක්‍රියාවකි. මෙහිදී ඉහත වර්ධන අවස්ථා නියමිත පරිදි සිදු නොවන්නේ නම් ශ්‍රවණ පරීක්ෂණයක් අත්‍යාවශ්‍ය වනු ඇත. (සමහර විට අක්ෂි පරීක්ෂන්යක්ද සමග)
නමුත් ඔබේ දරුවා නොමේරු ළදරුවකු ලෙස බිහිවුවහොත් එම දරුවාගේ වර්දනය යම් ප්‍රමාණයකට ප්‍රමාද වීම බලාපොරොත්තු විය යුතුය.
දරුවාගේ ශ්‍රවණ තත්වය සාමාන්‍ය අයුරින් ඇත්නම් කතන පුහුණුව ඇරඹිය යුතුය. ශ්‍රවණ අබාදයක් ඇත්නම් එය විශේෂඥය උපදෙස් ලබාගෙන අවශ්‍ය ප්‍රතිකාර වලට යොමු විය යුතුය.
දෙවන වසර තුල දරුවාගේ කථන වර්ධන ප්‍රමාදයත් සමග දරුවා දැඩි මානසික අසීරුතාවයකට පත්වෙයි. මෙය හැසිරීමේ දුෂ්කරතා ඇති වීමටද හේතුවක් වනු ඇත. එමෙන්ම දරුවා සම වයසේ අන් දරුවන් සමග එකතු වූ විට ඔහුගේ කථන අපහසුතාවය ඔවුන් සමග යහපත් සම්බන්ධතාවයක් ඇති කරගැනීමට බාධාවක් වෙයි. මෙම තත්වය පසුවන විට අන් දරුවන් ගෙන් සෙල්ලම් බඩු උදුරා ගැනීම, තල්ලු කිරීම සහ අනෙකුත් අහිතකර හැසිරීම රටා පෙන්වීමට හේතුවක් වනු ඇත.
මෙම අවස්තාවේදී බොහෝ වෘත්තීය වේදීන්, දරුවාගේ කථන අපහසුතාවය සහ ඒ මගින් ඇතිවන අනෙකුත් ළමුන් සමග එකතුවීමේ සහ ප්‍රතික්‍රියා කිරීමේ අපහසුතා නිසා දරුවාට ඔටිසම් තත්වය ඇත්දැයි ප්‍රශ්න කිරීම ඉතා සාදාරනය. නමුත් දෙමව්පියන් මෙම අදහස සමග බොහෝ අවස්තාවලදී විරුද්ධ වීමට ඉඩ ඇත. නමුත් මෙම විරෝධතාවය නිසා දරුවාට කථන පුහුණුව ලබා දීම අතපසු කිරීම දරුවාට කරන දැඩි අසාධාරණයකි. කතන පුහුණුවේදී ‘හස්ත සංකේත‘ මගින් දරුවාට අදහස් හුවමාරු කරගැනීමට පුරුදු කිරීම සිදුකරයි. මෙයටද සමහර දෙමව්පියන් විරුද්ධ වීමට ඉඩ ඇත. නමුත් මෙයින් දරුවාගේ අදහස් හුවමාරුව යම් ප්‍රමාණයකට දියුණු වීමෙන් ඔහුගේ හෝ ඇයගේ තරහ යාම ඇතුළු හැසිරීමේ දුෂ්කරතා අඩුවනු ඇත.
තමන්ටම ආවේනික වූ භාෂාවකින් කතා කිරීම
කථන අපහසුතා ඇති දරුවන් සමහර අවස්තාවන්වලදී කාටත් නොතෙරෙන තමන්ටම ආවේනික වූ භාෂාවකින් කතා කිරීම අරඹයි. මෙයද සැලකිය යුතු සහ නිසි අවධානය දිය යුතු දෙයකි. මෙම තත්වය “gibberish language” හෝ “Idiosyncratic language” ලෙස හැඳින්වේ. මෙය ඔටිසම් රෝගී ලක්ෂණයක් විය හැක.
දරුවට ඇසෙන දෙය එලෙසම ප්රතිඋච්ච්චාරණය කිරීම Echolalia යනුවෙන් හැඳින්වේ. මෙයද කථනයේ සහ භාෂාවේ ඇතිවන ඔටිසම් රෝගී ලක්ෂණයක් ලෙස හඳුනාගැනේ. උදාහරණයක් ලෙස “නම මොකක්ද?” ඇසු විට නම නොපවසා “නම මොකක්ද?” යනුවෙන් දරුවා එම ප්‍රශ්නයම ප්‍රති–උච්චාරණය කරයි.
මෙහි සඳහන් කලේ දරුවාගේ ඉතා මුල් අවදියේ දැකගත හැකි කථන අසීරුතා හඳුනාගැනීම සහ ප්‍රතිකාර ලබාගැනීමේ වැදගත් කමයි. දරුවා පසුකලක ඔටිසම් සහිත දරුවකු ලෙස රෝග විනිශ්චය වුවත් හෝ නොවුවත් මෙම මුල් අවදියේ ප්‍රතිකාර දරුවා ගේ අනාගතයට ඉතා වැදගත් වනු ඇත.
මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.