මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.
කුඩා දරුවන්ගේ නොනවතින හැඩීම (Irritable Infant) හෙවත් “බාලගිරි දෝෂය“
බාලගිරි දෝෂය වර්තමානයේ සමාජගත වී ඇත්තේ යම්දෙයක් සිදුවීම ප්‍රමාද වීමක් ලෙසය. නමුත් අතීතයේදී අසාමාන්‍ය ලෙස හඬන කුඩා දරුවන් ඇති නිවෙස් වල උළුවස්සේ “බාලගිරි දෝෂය අද නොවෙයි හෙට” යනුවෙන් සඳහන් වාක්‍යයක් ලිවීම “කෙම්” ක්‍රමයක් ලෙස පිළිගැණුනි. මෙම ප්‍රශ්නයට ඉතා ඈත ඉතිහාසයක් ඇතිබව සහ දරුවන් හැඩීම ඉතා සුලබ කරුණක් බවත් පෙනී යයි. අතීතයේදී මෙයට නියම ප්‍රතිකාරයක් නොමැති බවට ඇති විශ්වාසය නිසා “බාලගිරි දෝෂය” යන නම පටබැදී ඇති බව මාගේ විශ්වාසයයි.
කුඩා දරුවන්ගේ හැඩීම පිලිබඳ වෛද්‍ය විද්‍යාත්මක අදහස්
කුඩා දරුවන්ගේ හැඩීම මවුවරුන්ට පියවරුන්ට සහ අනෙකුත් පවුලේ උදවියට බරපතල ප්‍රශ්නයක් වන අවස්ථා බොහෝ ඇත. එය පිළිබද වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු නොදැනීම සහ ඔවුන්ට නිසි දැනුම නොලැබීම නිසා මෙය දැඩි මානසික සහ සමාජයීය ප්‍රශ්න ඇති කිරීමට හේතු වනු ඇත.
දරුවන් හඬන්නේ ඇයි?
මෙලොව උපන් සෑම දරුවෙක්ම උපදින්නේ හැඩීම සමගය. මෙය දරුවාගේ උපතේදී හුස්ම ගැනීම ආරම්භ කිරීමේ ලක්ෂණයකි. මෙය මවට ඉතාමත් සතුටුදායක “හැඩීමකී“. නමුත් පසු කලකදී දරුවාගේ හැඩීම දෙමව්පියන්ට නොදැරිය හැකි ප්‍රශ්නයක් වන අවස්ථා ඇත.
දරුවන් හැඩීම ඉතාමත් සාමාන්‍ය දෙයකි. මෙය දරුවා “යහතින්” සිටින බව පෙන්වන ලක්ෂණයකි. එමෙන්ම දරුවා හැඩීම ඔහුට හෝ ඇයට “සැනසීම” ගෙන දෙයකි. (self-soothing)
දරුවන් හැඩීම මගින් ඔහු හෝ ඇය දෙමව්පියන් අතර ඇති සම්බන්ධතාවය වැඩිකරගැනී. එමෙන්ම ඔහු වටා සිටින අය සමග සමාජීය වශයෙන් සම්බන්ධ වීමටද හැඩීම මහත් උපකාරයක් වෙයි. දරුවෙකුගේ හැඩීම ඇසෙන ඕනෑම කෙනෙකු ඔහු වෙත අවධානය යොමු කරයි. මෙය දරුවාට සමාජ සම්බන්ධතාවය ඇතිකිරීමට උදව් වෙයි.
එනමුත් සමහර දරුවන්ගේ හැඩීම දෙමව්පියන්ට දරාගත නොහැකි ලෙස වැඩිවන්නේ ඇයි?
දරුවාගේ හැඩීම අසාමන්යද?
අසාමාන්‍ය ලෙස දරුවන් හැඩීම නිසා වෛද්‍ය උපදෙස් පැතීම සුලබ දෙයකි. වෛද්‍ය වරුන් දරුවාගේ හැඩීම අසාමන්යද යන්න මැනීම සඳහා මිනුම් දණ්ඩක් භාවිතා කරයි.
(>3 hours, 3 days per week, > 3 weeks: දිනකට පැය 3 ට වඩා, අඩු තරමින් සතියකට දින 3ක්, සති තුනක කාලයක් දක්වා හැඩීම අසාමාන්‍ය ලෙස අර්ථ දැක්වීම).
කෙසේ නමුත් මෙම මිනුම්දන්ඩ යොදාගැනීම එතරම් සාර්ථක නැත. මන්ද දරුවන්ගේ හැඩීම දෙමව්පියන් අත්දකින ප්‍රශ්නයක් නිසාය. ඕනෑම දරුවෙක් දවස පුරා අඩු වැඩි වශයෙන් හඬයි. මන්ද ඔහුට මවගේ අවදානය ගැනීමට, වේදනාවට, සැනසීමට කළහැකි එකම දෙය හැඩීම පමණය.
දරුවාගේ හැඩීම පිලිබඳ ඉංග්‍රීසි බසින් තොරතුරු පහත දිගුවෙන් ලබා ගත හැක
දරුවාගේ හැඩීම නිසා ඇතිවන අනෙකුත් ප්‍රශ්න
දරුවාගේ නොනවත්වා හැඩීම දෙමව්පියන්ට දැඩි මානසික පීඩනයක් ඇතිකරයි. විශේෂයෙන් දරුවාට කිරි පෙවීමෙන් හෝ නැලවීමෙන් දරුවා හැඩීම නොනවත්වයි නම් දෙමව්පියන් අසරණ වී වෛද්‍ය උපදෙස් පතයි. මෙහිදී වෛද්‍යවරුන්ට ලබාදිය හැකි ප්‍රතිකාර ඉතා සීමිතය. මෙයින් ඇතිවන මානසික පීඩනය පවුලේ සමගියට සහ සම්බන්ධතාවයටද බලපායි. එමෙන්ම මවට මානසික ආතතිය ඇතිවීම දරුවා සහ මව අතර ඇති සම්බන්ධතාවයටද බලපායි. මෙමගින් දරුවාගේ හැඩීම සහ හැසිරීම තවත් නරක අතට හැරෙනු ඇත. මවුවරුන් දරු ප්‍රසුතියෙන් පසු විවධ මානසික අබාද වලට ලක්වේ. දරුවාගේ හැඩීම් සහ ඇයට පවුලේ සාමාජිකයන්ගෙන් මනා සහයක් නොලැබේනම් මෙම තත්වය තවත් දරුණු විය හැක. එමනිසා නියමිත පරිදි මානසික සෞක්‍ය උපදෙස් පැතීම සිදුකල යුතුය. එමෙන්ම කුඩා දරුවන්ගේ හැඩීම නිසා නිදා ගැනීමද ගැටලුකාරී වනු ඇත. මෙහිදී නින්ද යාම සඳහා ඔවුෂද සුදුසු නොවනු ඇත.
දරුවාගේ නින්ද පිලිබඳ ඉංග්‍රීසි බසින් තොරතුරු පහත දිගුවෙන් ලබා ගත හැක
දරුවාගේ හැඩීම හා සම්බන්ධ අනෙකත් ආබාධ තිබිය හැකිද?
දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා දරුවකු හැඩීම සහ හදිසියේ දරුවකු අසාමාන්‍ය ලෙස හැඩීම අතර පැහැදිලි වෙනසක් පෙන්වයි. දරුවා දීර්ඝ කාලයක් අසාමාන්‍ය ලෙස හඬන අවස්තාවලදී දරුවාගේ වර්ධනය නිසි පරිදි වනවා නම් (බර සහ මානසික වර්ධනය) සහ අනෙකුත් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වයි නම් ඒ හා සම්බන්ධ අනෙකුත් ආබාධ තිබිය නොහැක. නමුත් මෙම හැඩීම දෙමව්පියන්ගේ මානසික සෞක්යට බලපෑමක් කරන නිසා වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.
කුඩා දරුවකු හදිසියේ අසාමාන්‍ය ලෙස හඬයි නම් එය අනෙකුත් රෝග ආබාධයක ලක්ෂණයක් විය හැක. මෙහිදී විශේෂයෙන් දරුවාට උණ රෝග ලක්ෂණ තිබීම, වමනය හුස්ම ගැනීමේ අපහසුතා, ආහාර නොගැනීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. මෙය කනේ ඇතිවන ආසාදනයක් වැනි පහසුවෙන් ප්‍රතිකාර කල හැකි තත්වයක් මෙන්ම “meningitis” (මොලයේ පිටත ආවරණ වල ඇතිවන ආසාදනයක්) වැනි දරුණු තත්වයක් විය හැක.
දරුවන් හඩන විට වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ කිනම් අවස්තාවෙදීද?
මා ඉහත සඳහන් කල ආකාරයට කලින් හැඩීම ප්‍රශ්නයක් නොවූ දරුවකු හදිස්යේ හැඩීම වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථාවකි. එමෙන්ම මෙය දෙමව්පියන්ගේ මානසික ආතතියට බලපාන විට වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසු වනු ඇත. දරුවාගේ හැඩීමත් සමග වර්ධනය නිසිපරිදි සිදු නොවේ නම් සහ වෙනත් රෝග ලක්ෂණ පෙන්වයි නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
දරුවන් මුත්‍ර කිරීමේදී හැඩීම මුත්‍රා අසාදනයක ලක්ෂණද?
නැත.
කලකට පෙර, කුඩා දරුවන් මුත්‍ර කිරීම සහ හැඩීම, මුත්‍රා ආසාදන වල ලක්ෂණයක් ලෙස සලකා සෑම දරුවකුම මුත්‍රා පරීක්ෂණයකට ලක් කරන ලදී. නමුත් මෙය සත්‍යයක් නොවේ. දරුවන් හැඩීම සහ මුත්‍රා කිරීම ඔවුන්ගේ සාමාන්‍ය ලක්ෂණයකි. නමුත් දරුවකු හදිසියේ හැඩීම සහ උන රෝග ලක්ෂණ පෙන්වීම මුත්‍රා අසාදනයක ලක්ෂණ විය හැක.
වෙළඳ පොලේ ඇති “ඔව්ෂධ” දරුවන්ගේ හැඩීම සඳහා දිය යුතුද?
දරුවන් හැඩීම සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම අතීතයේදී භාවිත කර ඇත. මේ කිසිවක් දරුවන්ගේ හැඩීම නැවත්වීමට ප්‍රතිකාරයක් නොවන අතර සමහර අවස්තාවලදී මෙය දරුවන්ට ඉතා හානිකර ප්‍රතිපල ගෙනදී ඇත. දැනටත් වෙළඳ පොලේ ඇති පහත සඳහන් ඔව්ෂධ දරුවන්ට ලබා දීම මුදල් මුදල් නාස්තියක් සහ අතුරු ආබාධ ගෙන දීමක් පවා සිදුවිය හැක.
නවීන වෛද්‍ය විද්‍යාත්මක දැනුම අනුව දරුවන්ගේ නොනවතින හැඩීමට හේතු
එළකිරි ප්‍රෝටීන වලට අසාත්මිකතාවය
එළකිරි වල ඇති සමහර ප්‍රෝටීන වලට දරුවන්ගේ ඇති අසාත්මිකතාව නිසා ඔවුන් දැඩි අපහසුතාවයකට පත්වේ. මෙහිදී ඔවුන් නොනැවතී හඬයි. එමෙන්ම ඔවුන්ගේ eczema නමැති සමේ රෝග ලක්ෂණය පෙන්වයි (මෙය බොහෝවිට කැසීම ඇති කරයි). මෙය සමහර දරුවන්ගේ මලපහ සමග ලේ යාමක්ද සිදුවිය හැක. මෙම අසාත්මිකතාව ඉතා උග්‍ර උවහොත් වමනය සහ නිසි ලෙස බර වැඩි නොවෙයි. මව ආහාරයට ගන්නා එළකිරි සහ එළකිරි යෙදු අහාර වල ඇති කිරි ප්‍රෝටීන මවු කිරි සමග යෑමෙන්ද දරුවන්ට ඉහත රෝග ලක්ෂණ ඇතිවිය හැක.
එළකිරි ප්‍රෝටීන අසාත්මිකතාව ඇති බව සක කළහොත් කල යුත්තේ කුමක්ද?
දරුවා මවුකිරි පමණක් ආහාර ලෙස ගනී නම් මව සියලුම එළකිරි සහිත ආහාර සති කීපයකට නැවැත්වීමෙන් දරුවාගේ හැඩීම අඩුවේ දැයි බැලිය හැක. එමෙන්ම දරුවා පිටිකිරි ආහාර ලෙස ගනී නම් දරුවන්ට අනුමත සොයා කිරි සති කිහිපයක් දීමෙන් හැඩීම අඩුවෙදැයි බැලිය හැක. නමුත් සමහර එළකිරි වලට අසාත්මිකතාව දක්වන දරුවන් සොයා කිරි වලටද අසාත්මිකතාව දක්වයි. මෙහිදී වෛද්‍ය උපදෙස් මත විශේෂිත කිරි වර්ග ලබා දිය යුතුය.
මෙම එළකිරි ප්‍රෝටීන අසාත්මිකතාව දරුවා වයසින් වැඩෙත්ම අඩුවී යයි.
Gastro Oesophageal Reflux Disease (GORD) නිසා දරුවන්ගේ හැඩීම
මීට කලකට ඉහතදී වැඩියෙන් හැඩීම GORD නිසා සිදුවන බවට අනුමාන කළහ. මෙහිදී ආමාශයේ ඇති අම්ල සහිත ආහාර ගලනාලය ඔස්සේ ආපසු එම නිසා “දැවිල්ලක්” වැනි වේදනාවක් හටගනී. එමනිසා වෛද්‍ය වරුන් දරුවන් හට antacids සහ Ranitidine, omeprazole වැනි අම්ල ගතිය වැඩිවීමේදී/gastritis රෝගවලට ලබාදෙන ප්‍රතිකාර ලබාදුනි. නමුත් නවීනතම සාධක අනුව මෙය (GORD) බොහෝ සෞක්‍ය සම්පන්න දරුවකුගේම සිදුවන සාමාන්‍ය ක්‍රියාවක් බව සොයාගෙන ඇත. මෙය බොහෝ විට සිදුවන්නේ දරුවා නිතරම සිරස් අතට සිටීම නිසා යයි මතයක් ඇත. නමුත් දරුවා වාඩිවීම සහ සිටගැනීම පටන්ගන්නවාත් සමග සහ ඝන ආහාර පටන්ගැනීමත් සමග reflux තත්වය මගහැරී යයි. එම නිසා කුඩා දරුවන්ට reflux නිසා හැඩීම සිදුවේ යයි උපකල්පනය කල ඉහත ප්‍රතිකාර ක්‍රම දීම උචිත නොවේ.
ඉතාමත කලාතුරකින් දරුවන්ගේ reflux තත්වය ඔවුන්ගේ සෞක්යට අහිතකර බලපෑම් ඇතිකරයි. විශේෂයෙන් දරුවන්හට වෙනත් අබාධ (Cerebral Palsy, Down Syndrome) ඇතිනම් මෙය වඩාත් දරුණු වියහැක. මෙහිදී ඇතිවන අනෙකුත් රෝගලක්ෂණ නම්, වමනය නිසා වර්ධනය බාල වීම, වමනය සමග ලේ යාම, වමනය පෙනහළු වලට ඇතුල්වීම නිසා නිව්මෝනියාව නිතර නිතර සැදීම. එම නිසා මෙම රෝග ඇත්නම් මෙම reflux සඳහා වෙනත් පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා දිය යුතුය.
සැලකිය යුතු කාරණය වන්නේ දරුවන්ගේ සාමාන්‍ය වමනය (වර්ධනය හොඳින් සිදුවේනම්) reflux තත්වයක් වුවද එය හැඩීම සඳහා හේතුවක් නොවන අතර කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ.
මේ පිලිබඳ ඉංග්‍රීසි බසින් තොරතුරු පහත දිගුවෙන් ලබා ගත හැක
Lactose Intolerance (කිරි වල ඇති “ලැක්ටෝස්” නමැති සීනි විශේෂය දිරවීමේ අපහසුතා)
මෙය එළකිරි ප්‍රෝටීන අසාත්මිකතාවට වඩා හාත්පස වෙනස්ය. කිරි වල ඇති Lactose නම් සීනි වර්ගය දිරවීමට අවශ්‍ය එන්සයිමය නොමැති වීම නිසා මෙම තත්වය ඇතිවෙයි. මෙහිදී වමනය, බඩේ වේදනාව ඇතිවිය හැක. මෙයත් දරුවන්ගේ හැඩීමට හේතුවක් විය හැක. මෙයට ප්‍රතිකාර ලෙස lactose රහිත කිරි වර්ග දීම සහ Lactase නමැති එන්සයිමය කිරි සමග ලබා දීම කලහැක.
මවගේ මව්කිරි දීමේ අපහසුත සහ මවගේ මානසික ආතතිය
මවට දරුවා ලැබීමෙන් පසු සමහර මව්වරුන්ට විශාල මානසික ආතතියක් ඇතිවේ. විශේෂයෙන්ම මවට අන් අයගේ සහයෝගය නොලැබීම, ස්වාමියා ළඟ නොමැති වීම වැනි කාරනා නිසා (නැන්දම්මා ලේලි අර්බුදය) මෙය depression තත්වයක් දක්වා වර්ධනය විය හැක. මෙය මව සහ දරුවා අතර සම්බන්ධතාවයට මෙන්ම මව්කිරි දීමටද බලපෑමක් ඇති කරයි. විශේෂයෙන් මවක් ඉතා අසහනකාරීව “දරුවා හැඩීම” සමග උපදෙස් පතයි නම් දරුවාගේ සෞක්‍ය මෙන්ම මවගේ සෞක්ය කෙරෙහිද දැඩි අවධානයක් දිය යුතුය. මෙහිදී ඇයට අවශ්‍ය අමතර සහාය ලබාදීම ඉතා වැදගත්ය.
දරුවන් හැඩීම පිලිබඳ විශ්වාසනීය වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු පහත සඳහන් වෙබ් අඩවි වලින් ලබාගත හැක.
මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.