මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.
හැඳින්වීම

1.1 ඔටිසම් යන වචනයේ තේරුම
ඔටිසම් වෛද්‍ය විද්‍යාවේදී autism spectrum disorder නමින් හඳුන්වයි. Autism යන වචනය ලතින් භාෂාවේ “autos” ( භාවිත කරන ඔටෝ කාර්, ඔටෝමැටික් යන වචනය හා සමාන වෙයි) යන වචනයෙන් සෑදුන වචනයකි. කලින් Asperger Syndrome යන තත්වයද දැන් autism spectrum disorder යටතටම ගැනෙයි. ඒ අනුව ඔටිසම් රෝගය සහිත ළමුන් සියල්ල ‘ඔටිසම් රෝගී පරාසය‘ තුලට ගැනෙනු ඇත. මලලසේකර ශබ්දකෝෂයෙහි මෙය “ස්වෙච්චාතාව” වශයෙන් හඳුන්වා ඇත. නමුත් සිංහල භාවිතයේදී මෙය ඔටිසම් ලෙසම භාවිතා වන බව මගේ අදහසයි. මෙහි spectrum යන්නෙන් අදහස් වන්නේ රෝග ලක්ෂණ විවිධ පරාසයන් ඔස්සේ එක් එක් රෝගීන්ගේ පිහිටන බවයි. එය තවත් පැහැදිලි කළහොත් එක් එක් රෝගීන්ගේ රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් වන බවයි.
1.2 Autism Spectrum Disorder ගැන කෙටියෙන්
ඔටිසම් යනු (neurodevelopmental) මොලයේ වර්ධනය සහ මානසික වර්ධනයේ වෙනසකින් ඇතිවන තතවයකි. මෙහි රෝග ලක්ෂණ මුල් ළමා අවදියේ සිට ජීවිතාන්තය දක්වා පවතියි. මෙයට තවම ස්ථීර ප්‍රතිකරක් නොමැත.
(මා මෙය ඉතා වගකීමෙන් පවසමි. ඔටිසම් රෝගී තත්වය ආයුර්වේද හෝ වෙනත් විකල්ප ප්‍රතිකාර වල කිසිම අයුරකින් සදහන් නොවන අතර යම් කෙනෙක් ඔටිසම් රෝගය සුව කරන ‘ඔටිසම් තෙල්‘ හෝ වෙනත් ක්‍රම වලින් මෙය සුවකර ගත හැකි බව ප්‍රකාශ කළහොත් එය සම්පුර්ණ අසත්යකි).
විශේෂයෙන් සඳහන් කලයුත්තේ ඔටිසම් යනු රෝග ලක්ෂණ විශාල සංක්‍යවක එකතුවක් වන බැවින් ඔබ හෝ ඔබේ දරුවා (හෝ මිතුරන් හෝ සේවා ස්ථානයේ පුද්ගලයන්!) මෙහි සාකච්චා කරන රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්වූ පමණින්, ඔහුගේ එදිනෙදා දිවි පෙවතට එය බල නොපායි නම්, ඔහු ඔටිසම් රෝගියකු නොවන බවයි.
1.3 අප කලිඔන් නෑසු ඔටිසම් දැන් බහුලව ඇසෙන්නේ ඇයි ?
මෙය අප කාටත් ප්‍රශ්නයක් වී ඇති බවට සැක නොමැත. මෙයට වසර 20 ට පමණ පෙර මා මේ පිලිබඳ අසා තිබුනේ ඉතා අල්ප වශයෙනි. නමුත් පසුගිය දශකයේ සිට ඔටිසම් රෝගීන් විශාල වශයෙන් හඳුනා ගැනෙමින් ඇත. මෙය ඕස්ට්‍රේලියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද තත්වය වී ඇති බව මගේ හැගීමයි.
මීට වසර කිහිපයකට පෙර සෑම දරුවන් 160 දෙනෙකුගෙන් 1 ක් අයෙකුටම ඔටිසම් ඇති බව පර්යේෂණ වාර්තා සදහන් කරයි. නමුත් දැන් එය සෑම 60 දෙනෙකුගෙන් 1 ක් දරුවෙක් වශයෙන් දැක්වේ. (මෙම දත්ත ශ්‍රී ලංකාවේ නොවේ) මේ අනුව ඔබේ පාසලේ කොපමණ දරුවන් සිටීදැයි අනුමාන කල හැක.
මෙම වැඩිවීමට හේතු ලෙස විවිධ මත පළවුවත් පර්යේෂණ මගින් හෙළිවන්නේ ඔටිසම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ, දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ දැනුම සහ අවධානය ඉතා වැඩිවී ඇතිබවයි. එම නිසා වැඩි පිරිසක් ඔටිසම් ලෙස හඳුනා ගැනෙයි. මෙය බැලූ බැල්මට රෝගීන් වැඩිවීමක් ලෙස පෙනුනද එය සත්‍යයක් නොවේ. නමුත් මෙහිදී කරුණු දෙකක් අවධානය කරමි. වයසින් වැඩි පිරිමින්ට දාව ඉපදෙන දරුවන් ඔටිසම් රෝග ලක්ෂණ පෙන්වීමේ වැඩි ප්‍රවනතාවයක් දක්වයි. (ව්ශේෂයෙන් දියුණු වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම මගින් වැඩි වයස් වල ජීවත් වන පිරිමින්ට දරුවන් ලබාගත හැකි වීම මෙම වැඩිවීමට යම් අයුරකින් බලපාන බව උපකල්පනය කල හැක).එමෙන්ම ඉතා නොමෙරූ ළදරුවන් (මීට පෙර ළදරු අවස්ථාවේදීම මිය යන), වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග, ජීවත්වීමේ වැඩි ප්‍රවනතාවයක් දක්වයි. මෙම නොමේරු දරුවන් හට ඔටිසම් සැදීමේ වැඩි සම්භාවිතාවක් ඇත.
1.4 මුලදීම ඔටිසම් රෝගය හඳුනාගැනීමේ වැදගත්කම.
ඔටිසම් රෝගය සුවකළ නොහැක. නමුත් මුල් අවදියේ මෙය හඳුනාගෙන මුල් අවදියේම අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම (ඔව්ෂධ නොමැත) ලබාදීමෙන් රෝගීන්ගේ අනාගත අසීරුතාවයන් අවම කරගත හැක.
ඔටිසම් වල ලක්ෂණයක් නම් සමහර දරුවන් රෝග ලක්ෂණ පෙන්වීම (විශේෂයෙන් කථනය) දෙවන වසර තුල “අම්මා” “තාත්තා” යන මුල් වචන පැවසීමෙන් ඇරඹුවත් පසුව මාස කිහිපයකට පසු ඔවුන් කිසිම වචනයක් කතා කිරීමේ හැකියාවක් නොපෙන්වයි. (මෙය Regression යනුවෙන් හඳුන්වයි) නමුත් මින් මාස කිහිපයකට පසු නැවතත් මෙම දරුවන් කථනයේ යම් වර්ධනයක් පෙන්වමින් වචන කිහිපයක් කතා කිරීම අරඹයි. නමුත් මෙය ඔටිසම් තත්වය සුව වීමක් නොවේ. මෙම අවස්ථාවේදී යම් අයෙක් කිසියම් ප්‍රතිකාරයක් කර දරුවාගේ කථනය දියුණු වීම පෙන්වීම, ඔටිසම් රෝග තත්වය සුව වීමක් බවත් එය ඔහුගේ ප්‍රතිකාර ක්‍රමය නිසා සිදුවූවක් ලෙස සමාජය නොමග යැවිය හැක. (මෙය සිදුවීමට විශාල ඉඩක් ලංකාවේ ඇති බව මම සිතමි.)
(මා මෙය ඉතා වගකීමෙන් පවසමි. ඔටිසම් රෝගී තත්වය ආයුර්වේද හෝ වෙනත් විකල්ප ප්‍රතිකාර වල කිසිම අයුරකින් සදහන් නොවන අතර යම් කෙනෙක් ඔටිසම් රෝගය සුව කරන ‘ඔටිසම් තෙල්‘ හෝ වෙනත් ක්‍රම වලින් මෙය සුවකර ගත හැකි බව ප්‍රකාශ කළහොත් එය සම්පුර්ණ අසත්යකි).
1.5 මුලදීම ඔටිසම් රෝගය හඳුනාගැනීම
ඕස්ට්‍රේලියාවේ මාතෘ සහ ළමා හෙදියන් (මෙය ලංකාවේ ඉතා ඉහල මට්ටමකින් සාර්ථකව ව්‍යාප්තව ඇත) සිදුකරන ළමා වර්ධන පරීක්ෂවෙදී මුල්ම රෝග ලක්ෂණ (Red Flags) හඳුනාගෙන ළමා රෝග වෛද්‍යවරුන් වෙත යොමුකරයි. එමෙන්ම දිව සුරැකුම් මද්‍යස්ථාන සහ මොන්ටෙසොරි පාසල් වල ගුරුවරුන් ඔටිසම් රෝග ලක්ෂණ ගැන සුපරික්ෂාකාරී වෙයි. මෙමගින් මුල් අවදියේදී රෝග නිශ්චය කර ගැනීමට මහත් පිටුවහලක් වෙයි.
සමහර දරුවන්ගේ මෙම රෝග ලක්ෂණ මද වශයෙන් ඇත්නම්ඔවුන්ගේ රෝග විනිශ්චය අපහසුය. මෙම හේතුවෙන් ඔවුන් විවධ ගැටළු වලට මුහුණ දෙයි. කෙසේ හෝ වයසින් වැඩෙත්ම ඔවුන්ගේ සමාජ සම්බන්ධතා පිළිබද ඇති ගැටළු මානව පැහැදිලි වීමෙන් ඔවුන් රෝග වින්ශ්චය සදහා යොමුවේ. සමහර අවස්ථාවලදී ඔටිසම් පිළිබද සමාජයේ ඇති වැරදි ආකල්ප නිසා දෙමව්පියන් රෝග විනිශ්චය සදහා මැලිකමක් දක්වයි. කෙසේ හෝ ඔටිසම් ඇති දරුවන් හඳුනාගෙන ඉතා අඩු වයසින් ඔවුන්ගේ සමාජ සම්බන්ධතා සහ අනෙකුත් රෝග ලක්ෂණ වලට සහය දීමෙන් ඔවුන්ගේ ඉදිරි ජීවිත සාර්ථක කර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇත.
1.6 ඔටිසම් රෝගය ඇති මහා ප්‍රඥයන් (Autistic Savants)
සමහර ඔටිසම් සහිත පුද්ගලයන් අති විශේෂ හැකියාවන් පෙන්වන අවස්තාවන් ඇත. මොවූන්
- ගණිතමය හැකියාවන්, අංක මතක තබාගැනීමට හැකිවීම
- අතීතයේ සිදුවූ සෑම දෙයක්ම එය සිදුවූ අයුරින්ම මතක තබාගැනීම
- අතීතයේ ඕනෑම දිනයක දවස පැවසීමට හැකිවීම
- චයාරුපයක් ලෙස, සිදුවන සෑම දෙයක්ම මතක තබා ගැනීම සහ එය චිත්රණය කිරීමට හැකිවීම
- කියවන සෑම දෙයක්ම මතක තබා ගැනීම Kim Peak’s Storyඉහත සඳහන් ලයිස්තුවේ ඇති වෙබ් දිගු වලින්, ඉතාමත් අසාමාන්‍ය හැකියා තිබු පුද්ගලයන් දෙදෙනකුගේ වාර්තා වැඩසටහන් ඔබට නැරඹිය හැක. Kim Peak නම් පුද්ගලයාගේ වාර්තා වැඩසටහන සම්පුර්ණයෙන් නැරබුවහොත් ඔබ අතිශයෙන් විශ්මයට පත්වනු ඇත.
- එමෙන්ම Albert Einstein සහ Isaac Newton ඔටිසම් ලක්ෂණ පෙන්වා ඇති බව වාර්තා වේ.
- අප කවුරුත් දන්නා Mr Bean චරිතය (Rowan Atkinson නොවේ) ඔටිසම් ලක්ෂණ බොහොමයක් පෙන්වන බව මෙම ලිපි කියවීමෙන් පසු ඔබට වැටහෙනු ඇත.
මීළඟ කොටස මෙම දිගුවෙන්
2. ඔටිසම් හැදෙන්නේ කෙසේද?
මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.
