අලුත උපන් දරුවන් ‘කහ පැහැ වීම’ හෙවත් Jaundice

මෙම සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.

දරුවාගේ උපතින් පසු කහ පැහැ වීම ඉතා සාමාන්‍ය දෙයක් වුවත්, ඔබ දරුවා රැගෙන ගෙදර යාම දින කිහිපයකින් ප්‍රමාදවීම, දරුවා ඔබෙන් වෙන්කර විශේෂ ළදරු ප්‍රතිකාර අංශයට ඇතුල් කිරීම, දරුවාට දිනකට වරක් හෝ දෙවරක් රුධිර පරීක්ෂණ කිරීම සහ අනෙකුත් ප්‍රතිකාර නිසා ඔබ දැඩි මානසික පීඩනයකට ලක්විය හැක. මෙය ඒම පීඩනය යම් පමණකින් අඩුකිරීමට සහ දරුවාගේ තත්වය ගැන යම් අවබෝධයක් ලබාගැනීම සඳහා උපකාර වේ යයි සිතමි.

මෙම අලුත උපන් දරුවාගේ සම සාමාන්‍ය තත්වයට වඩා කහ පැහැති වී ඇත. මෙය Jaundice ලෙස හැඳින්වේ. මෙම දරුවාගේ දකුණු අතෙහි saline වැනි දියර වර්ග ලබාදීමට අවශ්‍ය වන කැනියුලාවක් දමා ඇත. එය ආරක්ෂිතව තැබීමට අත යටින් ස්පොන්ජ් වලින් සැදු ‘පතුරක්‌’ තබා සවිකර ඇත. දරුවාගේ පපුවේ සවිකර ඇත්තේ දරුවාගේ හුස්ම ගැනීම සහ හර්ද ස්පන්දනය පෙන්වන උපකරණයේ රිසීවරයයි.

Jaundice ලෙස හඳුන්වන අලුත උපන් දරුවන්ගේ සම කහ පැහැ වීම ඉතා සාමාන්‍ය දෙයකි. මෙම තත්වය බොහෝ අලුත උපන් දරුවන්ගේ දැකගත හැක. මෙය සාමාන්‍යයෙන් දරුවන් හට කිසිදු සෞක්‍ය ගැටළුවක් ඇති නොකරන අතර සති 1-2 ක් අතර නැති වී යයි. ඔබගේ දරුවා නොමේරු දරුවකු ලෙස ඉපදුනහොත් jaundice තත්වය ඇතිවීමට වඩා වැඩි ඉඩකඩක් ඇතිව මෙන්ම විශේෂ ප්‍රතිකාරද අවශ්‍ය විය හැක.

අලුත උපන් දරුවන්ගේ රුධිරයේ ඇති රතු රුධිරානු සෛල උපතින් පසු විනාශ වී අලුත් රතු රුධිරානු සෑදෙයි. මෙහිදී බිදී යන රතු රුධිරානු වල ඇති හිමොග්ලොබින් නමැති රසායනිකය බිලිරුබින් නමැති කහ පැහැතිරසායනයක් බවට පත්වී අක්මාව හරහා ඇගෙන් පිට වේ. නමුත් අලුත් උපන් දරුවන්ගේ අක්මාව මෙම බිලිරුබින් ඉවත් කිරීමට තරම් ශක්තියක් මුලදී නොමැත. රතු රුධිරානු බිදවැටීම විශාල වශයෙන් සිදුවන විට බිලිරුබින්, සම මත සහ ඇසෙ සුදු කොටස මත  තැන්පත් වී කහ පැහැයක් පෙන්වයි.

Jaundice හා සම්බන්ධ අනෙකුත් තත්වයන්.

ඉහත දැක්වූ පරිදි කහ පැහැ ගැනීම ඉතා සාමාන්‍ය සංසිද්ධියක් වුවත් සමහර අවස්තාවන්හිදී මෙය හා සම්බන්ධ තවත් සෞක්‍යමය කරුණු තිබිය හැක. මේවායින් ඉතා සුලබ කාරනා දෙකක් පහත දක්වමි.

මව් කිරි සහ jaundice

සමහර දරුවන්ගේ jaundice තත්වය ඇතිකරන බිලිරුබින් රසායනය ඉතා ඉහල මට්ටමක පැවතීම සහ සාමාන්‍ය කාලයකට වඩා වැඩි කලක් පැවතීම සිදුවිය හැක. මෙයට එක හේතුවක් ලෙස හදුනාගෙන ඇත්තේ මව් කිරි වල ඇති රසායනික ද්‍රව්‍යයක් බිලිරුබින් ඉවත් කිරීමට භාදාවක් වන බවයි. මෙය ස්වභාවයෙන්ම අඩු වී යන අතර කිසිවිටකත් මව් කිරි දීම නතර කිරීමට හේතුවක් නොවේ.

මවගේ සහ දරුවාගේ රුධිරරීසස්සාධකයේ ඇති නොගැලපීම හෝ රුධිර ඛාණ්ඩ වල නොගැලපීම.

(Rhesus incompatibility හෝ ABO Incompatibility)

මිනින්සුන්ගේ රුධිරය විවිධ කාණ්ඩ වලට අයත් බව ඔබ අසා ඇත. එමෙන්ම රුදිරයේ ඇතිරීසස්නම් සාධකය ඇති විට එයපොසිටිව්රුධිර ඝනයක් ලෙසද එම රීසස් සාධකය නොමැති විටනෙගටිව්රුධිර ඝනයක් ලෙසද හැඳින්වේ. යම් ලෙසකින් මව රීසස් නෙගටිව් රුධිරය හිමි අවස්තාවක පිළිසිඳෙන කළලය “පොසිටිව්වුවහොත් ඉපදෙන දරුවාගේ රතු රුධිරානු වැඩියෙන් විනාශ වී බිලිරුබින් රසායනය වැඩියෙන් ඇග තුල සෑදේ. මෙය jaundice තත්වය ප්‍රතිකාර අවශ්‍ය මට්ටමක් දක්වා වැඩිවීමට හේතුවක් විය හැක.

මෙම තත්වය පළමු දරු ප්‍රසුතියට වඩා දෙවන දරු ප්‍රසුතියේදී ඇති වීමේ ප්‍රවනතාවයක් ඇත. එමනිසා දරු ප්‍රසුතියෙන් පසු, ඊළඟ දරුවාගේ මෙම තත්වය අවම කරගැනීමට විශේෂ එන්නතක් ඔබට ලබාදෙනු ඇත.

එමෙන්ම වෙනත් රුධිර ඛාණ්ඩ වල නොගැලපීම (ABO incompatibility) මතද jaundice තත්වය අසාමාන්‍ය ලෙස වැඩිවීම සිදුවිය හැක. මෙය ඔබේ හෝ සැමියාගේ වරදකින් හෝ නොගලපීමකින් සිදුනොවන බව සලකන්න.

Jaundice දරුවාට වෙනත් රෝග ලක්ෂණ ඇති කරයිද?

සාමාන්‍යයෙන් කහ පැහැ ගැන්වීම ඉපදී දින 3 දී පමණ මුහුණෙන් පටන්ගෙන ඇඟ ටත්, කකුල් වලටත් පැතිරී යයි. සමහර විට දරුවා නිදිමත ගතියක් පෙන්වීම හෝ කිරි දීමේ අපහසුතාවයක් පෙන්වීමට ඉඩ ඇත. බොහෝ අවස්තාවලදී මෙයින් දරුවාට සෞක්‍ය හානියක් සිදු නොවේ. එනමුත් දරුවා වඩා නිදමත ගතියෙන් සිටීනම් හෝ කිරි බීමේ අපහසුවක් ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. ඉතාමත් කලාතුරකින් මෙම බිලිරුබින් මට්ටම වැඩි අගයක් දක්වා වැඩිවුවහොත් මොලයට දීර්ඝ කාලීන හානියක් සිදු වීමට ඉතා සුළු ඉඩක් ඇත. නමුත් වර්තමානයේ මුල් දින වල දරුවන් හොඳින් පරීක්ෂාවට ලක්වන නිසා සහ බිලිරුබින් මට්ටම අඩු කිරීමේ ක්‍රම නිසා මෙම හානිය දැකගත නොහැකි තරමට අඩුවී ඇත.

ඔබ දරුවාගේ jaundice පිලිබඳ වෛද්‍ය උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්ථාවලදීද?

දරුවා කිරි බීමේ අපහසුතාවයක් පෙන්වයි නම් හෝ මලානික රෝගී තත්වයක් පෙන්වයිනම්

දරුවාගේ අසුචි සුදු පැහැතිකිරිමැටිවැනි පෙනීමක් ඇත්නම් වහාම රෝහලක් වෙත යා යුතුය.

එමෙන්ම කහ පැහැය මුල් දින දෙක තුලදී ඇති වුවහොත් එය වෙනත් රෝගයක ලක්ෂණයක් (විශේෂයෙන් බැක්ටීරියා ආසාදනයක්) විය හැකි නිසා වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

කහ පැහැය දෙවන සතියේදී වැඩි වීමක් පෙන්වයිනම් හෝ සති දෙකකට වඩා වැඩි කාලයක් කහ පැහැය පවතී නම් එයත් යම් වෙනත් රෝග තත්වයක් හා සම්බන්ධ වී ඇති විය හැක.

මෙවන් අවස්තාවකදී දරුවාගේ රුධිරයේ බිලිරුබින් ප්‍රමාණය පරීක්ෂණ මගින් දැනගත හැක. එමෙන්ම වෛද්‍ය වරයා මේ හා සම්බන්ධ වෙනත් රෝගයක් ගැන සැක සිතනවානම් තව පරීක්ෂණ සිදුකර නිගමනයකට එළඹෙනු ඇත.

ප්‍රතිකාර

බිලිරුබින් මට්ටම එක්තරා අගයක වඩා වැඩි නම් දරුවටආලෝක ප්‍රතිකාරයලබා දේ. මෙය සම මත ඇති බිලිරුබින් පහසුවෙන් ඉවත් කිරීමට උදව් වෙයි. මෙය පහත සඳහන් අයුරින් රෝහල් තුලදී ලබා දෙයි.

බිලිරුබින් මට්ටම ඉතාමත් ඉහල අගයක් දක්වා වැඩිවී තිබුණහොත් දරුවාගේ රුධිරය පාරවිලයනය ක්‍රමයක් මගින් රුධිරයහුවමාරුකිරීමක් සිදුකරයි.

jaundice-1.jpg
මෙම චායාරුපයෙන් දැක්වෙන්නේ jaundice සහිත දරුවකුට ආලෝක ප්‍රතිකාරය ලබාදෙන ආකාරයයි. ආලෝකයෙන් දරුවාගේ ඇසට වන හානිය වලක්වා ගැනීමට ඇස් වසා ඇත. දරුවා ‘ඉන්කියුබේටරයක්’ (Incubator) (දරුවන්ට ප්‍රතිකාර කිරීමේ දී යොදා ගන්න විශේෂ උපකරණය) තුල තබා ඇත.

ආලෝක ප්‍රතිකාරයෙන් දීර්ග කාලීන අතුරු ආබාද ඇතිවිය හැකිද?

නැත.

නමුත් ආලෝක ප්‍රතිකාරය සිදුකරන කාලය තුලදී සුළු වෙනස් කම් කිහිපයක් දැකගත හැක. ඒවා නම්:

1. දරුවාගේ මල පහ දියරමය ස්වභාවයක් ගැනීම

2. විජලන තත්වය

3. දරුවාගේ උෂ්ණත්වය ඉහල යාම

4. දරුවාගෙ ඇස් වලට හානි වීම (වැලක්වීමට ඇස වසා තැබීම සිදුකරයි)

5. දරුවා නිල පැහැති ආලෝකය යට සිටීම නිසා දෙමව්පියන් හට යම් පීඩාකාරී බවක් දැනීම.

මෙම තත්වය නිසා ඔබට දරුවා සමග රෝහලේ වැඩි දින කිහිපයක් සිටීමට සිදුවුවත් දරුවා සුවෙන් ගෙදර ගෙනයාමට හැකිවීම ඔබට සතුටක් වනු ඇත.

චායාරුප ගුගල් සෙවුමේ “කර්තෘ අයිතිය නොමැති” ඛාණ්ඩයෙන් උපුටා ගැනීමකි. (Google image setting: Free to use or share even commercially)මෙම

සියලුම ලිපිවල අයිතිය කර්තෘ ළමා රෝග විශේෂඥය ජනක තෙන්නකෝන් (ඔස්ට්‍රේලියාව) සතුය.

Letter head

%d bloggers like this:
search previous next tag category expand menu location phone mail time cart zoom edit close